Ads 468x60px

Facebook ගිනුම සුරක්ෂිත කරගනිමු









අද වනවිට පරිගනක භාවිතා කරන පුද්ගලයින් අතරින් බොහෝ පිරිසක් Facebook සමාජ ජාල වෙබ් අඩවිය සමග සම්බන්ඳ වී සිටී. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් තම පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වීම වැනි අපහසුතාවයන්ට ලක්වන අතර තම Facebook ගිනුම වෙනත් පුද්ගලයින්ගේ පරිපාලනයට නතු වීම (Hack) වැනි ගැටළුකාරී අවස්ථාවන්ට මුහුනදීමට සිදුවේ.

මෙවන් අපහසුතාවයන්ට පත්වීමට බොහෝවිට හේතු වන්නේ Facebook වෙබ් අඩවිය තුල ඇති දෝෂ නොව තම Facebook ගිනුම තුල නිවැරදි ආරක්ෂක උපක්‍රම භාවිතා නොකිරීමයි.

ඔබේ Facebook ගිනුමේ ආරක්ෂාව ඉහල නංවාගැනීම සඳහා අනුගමනය කළහැකි සරළ උපක්‍රමයන් කිහිපයක් මෙම ලිපියෙන් සලකා බලමු.




ප්‍රධාන වශයෙන් මෙවන් ගැටළුකාරී තත්වයන් ඇතිකිරීමට හේතුවන තර්ජන (Threats) කිහිපයක් හඳුනගතහැක.
  1.     Adware
  2.      Malware
  3.      Phishing





මේවා අතරින් Adware යනු අනවශ්‍ය ලෙස pop-up ආකාරයේ කවුළු මතු කරමින් විවිධ සබැඳුම් (links) වෙත අප යොමු කිරීමට උත්සහ දරන වෙළඳ දැන්වීම් ආකාරයේ වැඩසටහන් ය. AdBlock Plus නම් කුඩා extention එක ඔබේ web browser එක තුලට ස්ථාපනය කරගැනීමෙන් මෙවන් කරදරකාරී වැඩසටහන් වල ප්‍රවේශය අවහිර කිරීමට හැකියාව ලැබේ.

adblockplus.org වෙබ් අඩවියෙන් ඔබට මෙම extention එක නොමිලයේම භාගත කරගතහැකි අතර මෙය සම්පූර්ණයෙන්ම “නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයකි” (Free and Open Source)

නමුත් මෙම මෘදුකාංගය සහ දක්වන්නේ Mozilla Firefox, Google Chrome සහ Opera යන web browser සඳහා පමණි.



Malware යනු විවිධ හානිකර සබැඳුම් (links) වෙත අප රැගෙන යාමට උත්සහ දරන තවත් උපක්‍රමශීලී වැඩසටහන් විශෙෂයක් ය. විශේෂයෙන් විවිධ ජනප්‍රිය චරිත වල අසභ්‍ය වීඩියෝ දර්ශන වැනි දේවල් නැරඹිම සඳහා මෙම වැඩසටහන් ඔබට ආරාධනා කරනු ඇත. බොහෝ විට ඔබේ මිතුරෙකු විසින් share කරන ලද post එකක් ලෙස ඔබට මෙම වැඩසටහන් දිස් වන අතර එසේ වන්නේ ඔබේ අදාල මිතුරා ද මෙම හනිකර වැඩසටනේ ගොදුරක් වූ පසුවය.

මෙවන් වැඩසටහන් වලින් සිදුවන හානිය වලක්වාගැනීමට නම් ඔබ ඉතා සිහි නුවනින් කටයුතු කලයුතු අතර ඔබේ මිතුරෙකු මෙවන් වැඩසටහනකට ගොදුරු වී ඇති බව ඔබ සිතන්නේ නම් වහාම එ පිළිබඳව ඔහු දැනුවත් කිරීම මෙම අනතුර පැතිර යාම අවම කරගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ.

ඔබ දැනටමත් Malware වැඩසටහනකට ගොදුරු වී ඇතැයි ඔබට හැඟෙන්නේ නම් වහාම ඔබේ Facebook මුර පදය (password) මාරු කිරීමට පියවර ගන්න. හොඳ ප්‍රති වෛරස් මෘදුකාංගයකින් ඔබේ පරිගනකය scan කිරීම හා භාවිතා කරන web borwser මෘදුකාංග සියල්ල යාවත්කාලීන කීරීම(update) මගින් මෙම අවධානම අවම කරගතහැක.
හැකි සෑම විටම Mozilla Firefox, Google Chrome වැනි ආරක්ෂාව ඉහල web browser එකක් භාවිතා කිරීමට උත්සහ කරන්න.



Phishing යනු ඔබේ facebook ගිනුම අනතුරට පත්වීයහැකි තවත් ආකාරයකි. මෙහිදී ඇතැම් පුද්ගලයන් facebook වෙබ් අඩවීයේ අතුරු මුහුනතට (interface) ඉතා සමීප වෙනත් වෙබ් අඩවියක් නිර්මාණය කරන අතර ඔබ වැරදීමකින් මෙවන් වෙබ් අඩවියක් වෙත ඔබේ රහස් තොරතුරු ලබා දිමක් සිදු කලහොත් එම තොරතුරු වෙනත් පුද්ගලයෙකු අතට පත්වේ.

ඔබ facebook වෙත log වෙන සෑම අවස්ථාවකම ඔබේ web browser මෘදුකාංගයේ address bar තුල www.facebook.com යන වෙබ් ලිපිනයම ඇතිදැයි දෙවරක් පරීක්ෂා කර බලන්න.

ඔබගේ facebook user name සහ password වෙනත් කිසිම වෙබ් අඩවියකට ලබාදෙන්න එපා. විශ්වාසවන්ත භාවයක් නොමැති chat මෘදුකාංග වලින් facebook තුලට log වීමට උත්සහ දරන්න එපා.

කිසි විටෙකත් facebook වෙතින් ඔබේ මුරපදය ලබාදෙන ලෙස e-mail හෝ SMS පණිවිඩ හරහා ඉල්ලීම් කරන්නෙ නැහැ. එවන් උගුල් වලට රැවටෙන්න එපා!

මෙමගින් ඔබගේ facebook ගිනුම Phishing ප්‍රහාරයකින් වලක්වාගතහැක.

ඔබගේ මිතුරෙකු මෙවන් අවාසනාවන්ත තත්වයකට පත්වී ඇතැයි ඔබ සිතන්නේ නම් වහාම ඔහු ඒ පිළිබඳ දැනුවත් කරන්න.

ඔබ මෙවන් ප්‍රහාරයකට ලක්වී ඇතැයි ඔබට සිතෙන්නේ නම් වහාම ඔබේ facebook මුර පදය (password) මාරු කරන්න. Facebook සඳහා යොදා ඇති e-mail ලිපිනයේ ද මුර පදය (password) මාරු කිරීම වඩාත් සුදුසුයි.





සුරක්ෂිතව සිටින්නට තවත් සරළ පියවරයන් කිහිපයක්


  • ශක්තිමත් මුර පදයක් (password) යොදන්න. මේ සඳහා අකුරු, ඉලක්කම්, සංකේත සියල්ල මිශ්‍ර වූ අකුරු 8ක් පමණ වත් දිගු මුරපදයක් යොදාගන්න.
  •  ඔබ facebook වෙත ලබා දී ඇති e-mail ගිනුම් සඳහාද මෙම පියවර අනුගමනය කරන්න.
  • ඔබ facebook ගිනුම සෑදීමට යොදාගත් e-mail ලිපිනය profile එක තුල දර්ශයන කරන එපා. ඒ සඳහා වෙනත් ලිපිනයක් හෝ facebook වෙතින් ලබාදෙන විකල්ප ලිපිනයක් (alternative address) භාවිතා කරන්න.
  •  සාමූහිකව භාවිතා කරන පරිගනකයක් භාවිතා කරන්නේනම් සැමවිට log out වීමට මතක තබාගන්න.
  •  ඔබේ පරිගනකයේ හොඳ ප්‍රති වෛරස් මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න          




ඉහත ක්‍රමවේදයන්ට අමතරව තවත් විශේෂිත වූ ආරක්ෂක උපක්‍රමයන් රැසක facebook තුලින් ඔබ වෙත ලබා දී තිබේ. එම උපක්‍රම වලින් වඩා වැදගත් ආරක්ෂක උපක්‍රම කිහිපයක් පිළිබඳ සලකා බලමු.

මේ සඳහා ඔබගේ facebook ගිනුමෙහි ආරක්ෂක සැකසුම් පිටුව වෙත පිවිසියයුතු අතර ඒ සඳහා පහත පියවට අනුගමනය කරන්න.

ඔබේ profile එකෙහි ඉහල දකුණු කෙළවරෙහි ඇති කුඩා දැතිරෝද සලකුන click කරන්න. දැන් ලැබෙන කුඩා මෙනුවෙන් account settings තොරන්න. ඉන් පසු විවෘත වන වෙබ් පිටුවෙහි වම් පස ඇති security උප මෙනුව මත click කරන්න. දැන් ඔබගේ facebook ආරක්ෂක සැකසුම් වෙබ් පිටුව විවෘත වේ


මෙම පිටුව තුල ඉතා වැදගත් ආරක්ෂක සැකසුම් කිහිපයක් අන්තර්ගත වන අතර එහි මුලින්ම දැකගත්හැක්කේ Secure Browsing යන සැකසුමයි. එය ඉදිරියේ ඇති edit මත click කිරීමෙන් මෙම සැකසුම තුලට පිවිසියහැකි අතර එහිදී දිස්වන දිස්වන Browse Facebook on a secure connection (https) when possibe නැමති check box එක check කිරීමෙන් මෙම සැකසුම ක්‍රියාත්මක කරගතහැක.

මෙමගින් ඔබ හා facebook සේවාදායක (server) පරිගනක අතර සිදුවන දත්ත හුවමාරුවට ගුප්ත කේතන ක්‍රමයක් (encryption) යොදන අතර සන්නිවේදන මාධ්‍ය තුලදී දත්ත සොරකමක් සිදු වුවත් එය ලබාගත් තැනැත්තා හට එම දත්ත කියවිය නොහැකි වේ.



මීලඟ සැකසුම Logging notification යන්නයි. මෙමගින් නාඳුනන පරිගනකයකින් ඔබේ facebook ගිනුමට log වීමක් සිදු වුවහොත් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ කෙටි පණිවිඩයක් (SMS) සහ e-mail ලිපියක් ඔබට ලැබේ.



තෙවන සැකසුම වන්නේ Logging approvals ය. මෙය Logging notification හි ම ඉදිරි පියවරක් වන අතර මෙමගින් ඔබ වෙත ඉහත ආකාරයේ පණිවිඩයකට අමතරව රහස් කේතයක් ලබා දේ. නව පරිගනකයකින් ඔබේ facebook ගිනුමට පිවිසෙන සෑම අවස්ථාවකම ඔබේ දුරකතනය වෙත ලැබෙන මෙම කේතය ඇතුලත් කලයුතු අතර එය නොමැතිව log වීමට ඉඩ ලබා නොදේ. මෙම කේතය එක් වරක් ලබා දී log වූ පසු ඔබට එම පරිගනකය  save කළහැකි අතර එසේ කළ පසු ඉදිරියේදී එයින් log වනවිට මෙවන් කේතය අවශ්‍ය නොවේ.

Security settings පිටුවේ පහල Recognized Devices යනුවෙන් දැක්වෙන්නේ මෙසේ Logging approval එකකින් තොරව log වීමට ඔබ විසින් වරප්‍රසාද ලබාදී ඇති පරිගනකයන් ය. ඔබේ අභිමතය පරිදි එම වරප්‍රසාද ඉවත් කිරීමේ පූර්ණ බලතල ඔබට ඇත.



මීලඟ වැදගත්ම ආරක්ෂක සැකසුම වන්නේ Activity Sessions ය. මෙම සැකසුම තුලට පිවිසීම මගින් ඔබට ඔබේ facebook ගිනුමට මේ වනවිට log වී තිබෙන සහ ආසන්න කාලයේදී log වන ලද උපකරණ, දිනය, වේලාව සහ දළ වශයෙන් ස්ථානය පිළිබඳ තොරතුරු දැකබලාගත හැක. ඔබ නාඳුනන උපකරණයකින් ඔබේ ගිනුම පරිහරණය කර ඇති බවක් ඔබට දැකගන්නට ලැබුනොත් ඒ මොහොතේම අදාල උපකරණයේ විස්තර ඉදිරියෙන් ඇති End activity මත click කරන්න. එවිට ක්ෂණිකවම එම උපකරණය ඔබේ ගිනුමෙන් log out වේ.ඉන් පසු ඔබගේ ගිනුමේ මුර පදය මාරුකරගැනීමෙන් එවැන්නක් යලි සිදුවීම වලක්වාගත්හැක.



අවසාන වශයෙන් මේ සියළු සැකසුම් වලට අමතරව Trusted Contacts සැකසුම වෙත ඔබේ අවධානය යොමු කළයුතු වේ. මෙම සැකසුම වෙත පිවිසි ඔබට facebook තුල ඔබට ඉතා විශ්වාසවන්ත සහ සමීප මිතුරන් 5 දෙනෙක් දක්වා තෝරාගතහැකි අතර ඔබ තෝරාගත යුත්තේ සැබෑ ජීවිතයේදීද ඔබ හොඳින් දන්නා ඔබට සමීප, පහසුවෙන් හමුවියහැකි මිතුරන් ය.

එලෙස මිතුරන් 5 දෙනෙක් දක්වා තෝරාගතහැකි අතර යම් හෙයකින් ඔබගේ facebook මුර පදය ඔබට අමතක වී ඔබේ e-mail ගිනුම හරහා ද එය reset කරගැනීමට නොහැකි අවස්ථාවක ඇති වුවහොත් මෙම මිතුරන් හරහා facebook වෙත සම්බන්ඳ වී ඔබගේ ගැටළුවට විසඳුමක් ලබාගතහැක.

කෙසේ වෙතත් මෙම මිතුරු ලැයිස්තුවද ඔබට අවශ්‍ය පරිදි යලි වෙනස් කිරීමේ සම්පූර්ණ බලතල ඔබ වෙත පැවරී ඇත.




මෙම සියළු ආරක්ෂක පියවරයන් අනුගමනය කර අවසානයේදී තවමත් ඔබේ facebook ගිනුමට සතුරු තර්ජනයක් එල්ල වීමේ අවධානම 100% ඉවත් වී නැහැ. බොහෝ facebook ගිනුම් සඳහා බලපෑම් කරන පුද්ගලයන් ඊට කලකට පෙර අදාල ගිනුමේ හිමිකරු සමග facebook තුලින්ම මිත්‍රත්වයක් ගොඩනගාගන්නා අතර ඔහුගේ පෞද්ගලික තොරතුරු ඔහුගෙන්ම ලබාගනී.

ඒ නිසා අවසාන වශයෙන් නොදන්නා මිතුරන් අනවශ්‍ය ලෙස add කරගන්න යන්න එපා. ඔබට එවන් නාඳුනන පුද්ගලයන් ගෙන් friend request ලැබුනත් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න යන්නත් එපා. සැම විට ඉතාමත් සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. නොදන්නා යමක් ඇතොත් දන්නා අයෙකුගෙන් විමසා දැනගැනීමට පසුබට වෙන්න එපා. එවන් තාක්ෂණික ගැටළු වලට විසඳුම් සොයාගන්න පුළුවන් facebook group, blog වැනි මූලාශ්‍ර බොහොමයක් ඔබට උදව් කරන්න මග බලන් ඉන්න බව මතක තියාගන්න.



ඔබට facebook පිළිබඳව ඇතිවන නොයොකුත් ආකාරයේ ගැටළු සඳහා විසඳුම් සොයාගන්න මෙම මූලාශ්‍ර ප්‍රයෝජනයට ගන්න පුළුවන්.





තවත් දවසක මෙවන් තාක්ෂණික ලිපියකින් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. 

අපත් සමග සැමදා රැඳී සිටින ඔබට ස්තුතියි!


3 comments:

  1. ඉතා ‍ෙහාදයි

    ReplyDelete
  2. Technology සිංහලෙන්: Facebook ගිනුම සුරක්ෂිත කරගනිමු >>>>> Download Now

    >>>>> Download Full

    Technology සිංහලෙන්: Facebook ගිනුම සුරක්ෂිත කරගනිමු >>>>> Download LINK

    >>>>> Download Now

    Technology සිංහලෙන්: Facebook ගිනුම සුරක්ෂිත කරගනිමු >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
 

අපිට like එකක් දාන්න

යාලුවන්ටත් බලන්න share කරන්න

Google+ පිටුව follow කරන්න

twitter යාලුවන්ට අපිව tweet කරන්න